බොලේ අතහැරියම මොකද්ද කරන්නේ කියලා මාලිගෙන් අහගන්න.අකිල නායකයා වෙලා තිසර උඩ පන්දු අත හැරියොත් මොනවා වෙයිද?

ඔබට මතකද ශ්‍රී ලංකා ක්‍රිකට්වල මේ වගේ කාලයක් තිබ්බා. සනත්ලා, කලූ ලා එකතු වෙලා ඉන්දියාවේ අභිමානය පිත්තෙන් සුනු විසුනු කරා. එ් දවස්වල ඉන්දීය ප්‍රේක්ෂකයෝ පවා සනත්ලට පුදුම අාදරයක් තිබ්බේ

හැබැයි දැන් අත්තනෝමතික සුදු පාලකයෝ නිසා දැන් ලංකාවේ ක්‍රිකට් වලට හෙනහුරා ලබලයි තියෙන්නේ. ඉන්දියාව එක්ක තිබ්බ පළවෙනි T 20 තරඟයේදී ඒ අපලයේ කූටප්‍රාප්තියට ලංකාව ලං වුණා. මෙච්චර දවසක් පරිස්සම් කරගෙන හිටපු නිකැළැල් T 20 නම්බුවත් කෝලි නැති ඉන්දියාව එදා විනාශ කරා. ඒ නික් පොතාස් පුහුණුකරුගේ ලෝකේ වීරයා වුණු තිසර පෙරේරාගේ නායකත්වය ලංකාවට ලැබෙද්දී.

හැබැයි පැරදුණු එකට වඩාදෙයක් ඒ තරඟය ගැන කතා කරන්න අපිට ඉතුරු වුණා. එ් ශ්‍රී ලංකා නායකයාගේ තුට්ටු දෙකේ හැසිරීම. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ රටක් නියෝජනය කරන නායකයෙක් විදිහට නෙවෙයි එදා තිසර හැසිරුනේ. අඩුම ගානේ වෙළේ ක්‍රිකට් ගහන කාලේ වත් බෝලයක් අතහැරියම “බෝක්කුවා” කියලා මිසක් “බූරුවා” කියලා යාළුවන්ට බැනපු දවසක් මට මතක නෑ. හැබැයි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති මේ තරඟය අතරතුර පන්දුව අතහැරියා කියලා තිසර, අකිලට බැන්නේ, “බොලේ අල්ලපන්, බුරුවා” කියලයි.

මතකද මීට මාස ගාණකට කලින් තිබුණු ශූරයන්ගේ කුසලානය. කාලයක් ජයග්‍රහණයේ කුරුමානම් අල්ලමින් හිටපු ලසිත් මාලිංග ප්‍රමුඛ කණ්ඩායම ජයග්‍රහණය ඇහේ ඇනෙන ගාණට ලං වෙලා හිටියේ. ඒ වෙලාවේ තිසර පෙරේරාගේ අත් දෙක හොයාගෙන Practice Catch එකක් වගේ ආපු සරල උඩ පන්දුව තිසර අතහැරියා. පන්දු යවමින් හිටියේ මාලිංග.

ඒ පන්දුවාරය ඉවර වෙලා තිසර ලඟට ආව මාලි හිනාවෙලා තිසරගේ පිටට තට්ටුවක් දැම්මා. “කමක් නෑ මල්ලි, අපි තව පාරක් Try කරමු.” මාලිංග පිටිය මැද තිසරට නොකියා කිවුවේ ඒ කතාවයි. පිටියෙන් එලියට ආව වෙලාවෙ මාධ්‍ය පන්න පන්න ප්‍රශ්න කරද්දීත් මාලි කිවුවේ “නෑ, ඕනෑම වෙලාවක ඕනෑම ක්‍රීඩකයෙක් අතින් Catch Miss වෙන්න පුළුවන්” කියලයි.

රටට කණ්ඩායමට වගකියන නායකයෙක් විදිහට මාලි එදා තිසරව එහෙම බේරගත්තේ ක්‍රීඩා ඇමතිගේ රාජ උදහසට පවා ලක්වෙමින්. පිටරට ක්‍රීඩකයන්ට යෝකර් වලින් තර්ජනය කරාට තමන්ගේ ක්‍රීඩකයන්ව මාලි වචනෙකින්වත් රිද්දුවේ නැහැ.

ඉතිං තිසර, මුල්ම සහ අවසන් වශයෙන් අපිට කියන්න තියෙන්නේ ඔය නායක ඔටුන්නට ඔබ තාම ලාමකයි කියලයි. බන්දුල, අර්ජුන වගේ නායකයෝ ආදර්ශයට ගන්න ඕනේ නැහැ. මීට මාස ගාණකට කලින් ඔබේ නම්බුව බේරපු ලසිත් මාලිංගට හරි ඉක්මනට Call කරලා අහගන්න, කෙනෙක් බෝලයක් අතහැරියොත් මොකද කරන්න ඕනේ කියලා.

හෙන්ඩුව දුන්නට පාලකයෝ ඔබට මන්තරේ කියලා කියලා දීලා නැහැ. ඒ නිසා කොහොමද නායකකම කරන්නේ කියලා මාලිගෙන්වත් අහගන්න. දැන්වත් හැදෙන්න තිසර. හැබැයි ඔබ එහෙම හැදෙයිද කියලත් අපිට ලොකු විශ්වාසයක් නැහැ. මොකද ඔය නායකකම ඔබට ලැබුනේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන නිසා නෙවෙයි හැමෝම බෑ කියද්දී ලාහෝර් යන්න ඔබ අත උස්සපු නිසානේ.

ඒක මේ වෙද්දී ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම දන්නවා. ඒ වගේම සමහරවිට හෙට ඔය නායකකම දික්වැල්ලට ලැබෙයි. මොකද ක්‍රිකට් අායතනයේ විධායක නිලධාරී අෑෂ්ලි ද සිල්වා දැන් කියන්නේ තරඟාවලියෙන් තරඟාවලියට නායකයෝ පත් කරනවා කියලයි.

ඉතිං මේ යන විදිහට දවසක අකිල නායකයා වෙලා තිසර උඩ පන්දු අත හරින්නත් පුළුවන්. එදාට අකිල සිද්ධ වෙයි තිසරට බනින්න වචනයක් හොයා ගන්න. දැන් ඔබට තේරෙනවද ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සිද්ධ වෙලා තියෙන අවනඩුවක මහත. ඒ සම්පුර්ණ වගකීම ක්‍රිකට් පරිපාලකයෝ භාර ගන්න ඕනේ.

එ් දවස්වල සනත් ජයසූරියට පාලකයෝ, මාධ්‍ය වගේම ක්‍රිකට් ගැන ලොකු Talks දෙන ඇත්තෝ බැන්නේ “ලංකාවේ ක්‍රිකට් ගහන ඔක්කොම කොල්ලෝ Team එකට ගන්නවා. තරඟයක් දෙකක් දීලා අයින් කරනවා” කියලයි. Fitness නැතුව ක්‍රීඩකයෝ ලෙඩ ඇඳට වැටෙද්දී සනත්ට වෙන විකල්පයක් තිබ්බේ නෑ කියලා දන්නෝ දන්නවා. එහෙම වෙලාවක “මං අයින් වුනාම ක්‍රිකට් හැදෙනවා නම් මම අයින් වෙන්නම්, ඔයාලා ක්‍රිකට් හදන්න” කියලා සනත් ගෙදර යන්නේ පාලකයන්ටවත් මාධ්‍යටවත් බයේ නෙවෙයි. ක්‍රිකට් වලට තියෙන අාදරේට.

හැබැයි දැන් මේ පාලකයෝ තරඟාවලියෙන් තරඟාවලියට නායකයෝ පත් කරන්නේ මැරිලා ඉපදිලාද කියන්න නම් අපි දන්නේ නෑ. මැතිව්ස්ගෙන් පස්සේ චන්දිමාල්, මාලිංග, තරංග, කපුගෙදර නායකයා කරලා දැන් ලාහෝර් Deal එකට අත උස්සපු තිසරට කළගුණ සලකලා. ඉතිං මේ පාලකයෝ මුලු කණ්ඩායමම නායකයෝ කරන දවසත් වැඩි ඈතක නෙවෙයි කියන එක නම් විශ්වාසයි.

ක්‍රිකට් වලට අාදරේ කරපු මාලිංගලා, සනත්ලා කපලා දැන් පාලකයොන්ට ඕන අය පත් කරගෙන තියෙනවා. ලෝකයම අාදරය කරපු මාස්ටර් බ්ලාස්ටර් වෙනුවට දැන් ඉන්නේ එකම ජාත්‍යන්තර තරඟයකටවත් ක්‍රීඩා නොකරපු තේරීම් කමිටුවක්. කණ්ඩායමේ සාමාජිකයෝ වෙනුවෙන් තමන්ගේ ක්‍රිකට් ජීවිතයම කැප කරපු මාලිංගලා වෙනුවට පිනට නායකත්වය ලැබුන කෙනෙක් කණ්ඩායම මෙහෙයවනවා.

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ඉතිං ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන කවර නම් කතාද? පාලකයොන්ගේ සහ ක්‍රීඩකයොන්ගේ ඩීල් නිසා අවසානයේ වෙන්නේ ලෝකයට නම ගෙනියපු ශ්‍රී ලංකා ක්‍රිකට් විනාසහ වෙන එක විතරමයි. අැත්තටම එ්ක දැනටමත් පටන් අරන් තියෙන්නේ. අදක්ෂ නායකයන්ගේ සහ අත්තනෝමතික පාළකයන්ගේ ඩීල් ඉක්මනටම ඉවර කර ගන්න වෙනවා. නැත්තම් හතුරුසිංහ නෙවෙයි සක්කරයාගේ පුතා වයිමා ආවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නම් ගොඩගන්න බෑ.

මේ තියෙන්නේ ධනංජයට, තිසර බැනපු හැටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *